green-concrete

Green Concrete ගැන ඔබ දැනගත යුතු දේ

Green concrete කියන්නේ සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා තිබෙන විකල්පයක්. ඉතින් මේ green concrete කියන්නේ ඇත්තටම මොකක්ද? අපට ඒක අවශ්‍ය වෙන්නේ ඇයි?

දිකිරීම් කර්මාන්තය වේගයෙන් වර්ධනය වන නිසා නව ඉදිකිරීම් තාක්ෂණයන් ඉක්මණින් බිහි වෙනවා. green constructions වගේ සංකල්ප ගැන අලුත් පරම්පරාව වැඩි සැලකිල්ලක් දක්වන නිසා මේවා sustainable පැත්තට ගොඩක් නැඹුරුතාවක් පෙන්වනවා. මේ නිසා, නූතන වාස්තු විද්‍යාත්මක ප්‍රවණතා බොහොමයක් තිරසාර සංකල්ප වෙත යොමු වෙලා තිබෙනවා. ඒ වගේ පසුබිමක තමයි green කොන්ක්‍රීට් සංකල්පයත් තිබෙන්නේ.

සරලව කිවහොත්, green කොන්ක්‍රීට් කියන්නේ පරිසර හිතකාමී වන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය වලින් සාදා තිබෙන සංයුක්ත ද්‍රව්‍යයක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික කොන්ක්‍රීට් පරිසර හිතකාමී නැති ද? සාම්ප්‍රදායික කොන්ක්‍රීට් සාදන්නට අපට අලුත් සිමෙන්ති සහ ගල්, වැලි අවශ්‍යයි. කොන්ක්‍රීට් සඳහා වන ඉල්ලුම වැඩි වෙද්දී මේක විශාල පාරිසරික බලපෑමක් ඇති කරවනවා. සිමෙන්ති (සහ කොන්ක්‍රීට් වල වෙනත් සාම්ප්‍රදායික සංඝටක) වෙනත් විකල්පයකින් ප්‍රතිස්ථාපනය කළහොත් අපිට ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන පාරිසරික බලපෑම අවම කරන්න පුළුවන්.

Green කොන්ක්‍රීට් වල පාරිසරික ප්‍රතිලාභ මොනවාද?

කාබන් විමෝචනය අඩු කිරීම

සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති සෑදීමේ දී ප්‍රධාන අමුද්‍රව්‍ය (හුණුගල්, මැටි සහ වැලි) 1450°C දක්වා රත් කරනවා. එය ලොව පුරා සිදුවන සියළුම CO₂ විමෝචනයන්ගෙන් 5% සිට 8% දක්වා ප්‍රමාණයකට ආසන්නයි. ඊට සාපේක්ෂව ගත්තොත්, green කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී 80% ක අඩු CO₂ විමෝචනයක් තිබෙනවා. ඒ නිසා පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යයි නම් මේක අප විසින් ගත යුතු ලොකු පියවරක්.

බලශක්ති පරිභෝජනය අඩු කිරීම

සමාන්‍ය සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ දී ඒවා උණුසුම් කිරීමට ගල් අඟුරු හෝ ස්වාභාවික වායු විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් කොන්ක්‍රීට් මිශ්‍ර කරද්දී අඩු සිමෙන්ති ප්‍රමාණයක් එක්ක වැඩිපුර fly ash පාවිච්චි කිරීමෙන් අපිට පුළුවන් බලශක්ති නාස්තිය අවම කරන්න. (fly ash ගැන පසුව අපි වැඩිදුර සාකච්ඡා කරමු).

කාර්මික අපද්‍රව්‍ය භාවිතා කිරීම

100% පෝට්ලන්ඩ් සිමෙන්ති මිශ්‍රණයක් වෙනුවට green කොන්ක්‍රීට් වලදී, 25% සිට 100% දක්වා fly ash (flue ash) භාවිතා කරනවා. Fly ash කියන්නේ ගල් අඟුරු දහනයේ අතුරු-ඵලයක්. ගල් අඟුරු බලශක්ති ප්‍රභවයක් ලෙස යෙදෙන (විදුලි බලාගාර වැනි) බලාගාරවල චිමිනි වලින් ඒවා එක්රැස් කෙරෙනවා. මේ කාර්මික අපද්‍රව්‍යය ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් fly ash බැහැර කිරීම සඳහා අක්කර සිය ගණනක් හිස් ඉඩම් වැය වෙනවා. Green කොන්ක්‍රීට් භාවිතා කිරීමේ වැඩිවීම සමග fly ash භාවිතා කිරීමට නව ක්‍රම හඳුනා ගනිමින්, අක්කර ගණනක ඉඩම් නිදහස් කරගන්නටත් අපිට උදව් වෙන්නට පුළුවන්.

ජල සම්පත් හා ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය

Winfield සහ Taylor (2005) ට අනුව, සාමාන්‍ය සිමෙන්ති නිෂ්පාදනය සඳහා ගල්, වැලි සහ වෙනත් ඛනිජ කැණීම් නිසා පොළොවේ සහ වෘක්ෂලතාදියේ ස්වාභාවික බෑවුම වෙනස් වෙනවා. මෙයින් පොළොවේ ජලාපවහන පද්ධතිය වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව, මේවා පොළොව යට තැන්පත් වන විට භූගත ජලාශ ලෙස හැසිරෙනවා. පසුව, ඒවා කැණීම් කරද්දී? ඉතිරිය ඔබට සිතාගැනීමට පුළුවන්. එය පැහැදිලිවම ස්වාභාවික ජල චක්‍රයට විශාල බලපෑමක් ඇති කරවනවා.

ආශ්‍රිත ලිපියක්: Low Impact Development කියන්නේ මොකක්ද?

මුලින් සඳහන් කළ විදිහට green කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා ටිකක් වෙනස්. සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වල භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍ය තුන පහත ආදේශක වලින් ප්‍රතිස්ථාපනය වෙනවා.

සාම්ප්‍රදායික අමුද්‍රව්‍යකොන්ක්‍රීට් සඳහා ආදේශන ද්‍රව්‍ය
01සිමෙන්තිඝන fly ash අළු, රොන්මඩ අළු, ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරු, සිලිකා දුම
02රළු අමතර ද්‍රව්‍ය (ලෝහ)ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය, භාවිතා කළ මිශ්‍ර කොන්ක්‍රීට්, වීදුරු අපද්‍රව්‍ය
03සිහින් අමතර ද්‍රව්‍ය (වැලි)සිහින් ප්‍රතිචක්‍රීකරණය කළ ගොඩනැගිලි කොටස්, කඩා දැ

ඉහත කරුණු අනුව, මෙම කාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන සෑම අමුද්‍රව්‍යයක්ම පාහේ ලාභදායී වන අතර පරිසර හිතකාමී දේවල් වෙනවා. එහෙත් එය ඉදිකිරීම් කර්මාන්තයට හොඳින් ගැලපෙන්නේ කෙසේද?

Green කොන්ක්‍රීට් වල ආර්ථික ප්‍රතිලාභ මොනවාද?

කල්පැවැත්ම

පෝට්ලන්ඩ් සිමෙන්ති සමඟ සසඳන විට green කොන්ක්‍රීට් ඉක්මණින් ශක්තිමත් වන අතර හැකිලීමේ වේගය (shrinking rate) ද අඩු කරයි. එබැවින් එහි ව්‍යුහාත්මක කල්පැවැත්ම සාමාන්‍ය කොන්ක්‍රීට් වලට වඩා ඉහළ අගයක් ගන්නවා. තවද, සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා මෙයට විඛාදනයට ඔරොත්තු දීමටත් හැකියි.

ගින්නට ඔරොත්තු දීම

කාර්මික අතුරු නිෂ්පාදනයක් භාවිතයෙන් සාදන ලද මේ කොන්ක්‍රීට්, 1000°C පමණ උෂ්ණත්ව වලට නිරාවරණය වන විට පවා හොඳ ගිනි විඳදරාගැනීමක් පෙන්නුම් කරනවා. හදිසි ගින්නක දී, ගොඩනැගිල්ලක් බිඳ නොවැටී තිබීම ගොඩක් වැදගත් බව අපි දන්නවා.

අවම ප්‍රතිනිර්මාණය කිරීමේ පිරිවැය

Green කොන්ක්‍රීට් වලින් සාදා ඇති ව්‍යුහයන් හෝ ගොඩනැගිලිවල ඉහළ කල්පැවැත්මක් ඇති නිසා, අලුත්වැඩියා කිරීමට සිදුවීම් සැලකිය යුතු ලෙස අඩුය.

ඉතින්, මෙම ද්‍රව්‍යය සමඟ සෑම දෙයකින්ම පරිපූර්ණ නම්, මිනිසුන් සෑම තැනකම එය පාවිච්චි නොකරන්නේ ඇයි? එයට හේතුව සුපර්මෑන්ට පවා දුර්වලකමක් තිබෙන නිසායි. ඉතින් හරිත කොන්ක්‍රීට් භාවිතා කිරීමේ ගැටලුව මොකක්ද? එහි සීමාවන් මොනවාද?

Green කොන්ක්‍රීට් වල සීමාවන්

  • Green කොන්ක්‍රීට් භාවිතා කිරීමේ ප්‍රධාන සීමාව හෝ අවාසිය නම් හරිත කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදිකරන ලද ව්‍යුහයන්ට සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලින් සාදන ලද ව්‍යුහයන්ට වඩා අඩු ආයු කාලයක් තිබීමයි. අඩු ආයු කාලයක් තිබෙන නිසා ඒවා වේලි, පාලම් වැනි වැදගත් ව්‍යුහයන් සඳහා පාවිච්චි කරන්නට බැහැ. වේලි හා පාලම් භාවිතා කිරීම සඳහා විශේෂ air-entraining agents කොන්ක්‍රීට් වල මිශ්‍ර කරන නිසා එය සමස්ත පිරිවැය වැඩි කරනවා.
  • Green කොන්ක්‍රීට් වල split tensile strength එක සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා අඩුයි. මේ අනුව වැඩි ශක්තිමත් කිරීම් අවශ්‍ය නම් ඉදිකිරීම් පිරිවැය ඉහළ යන්නට පුළුවන්.
  • Green කොන්ක්‍රීට් වලට ජලය අවශෝෂණය කිරීම සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා තරමක් වැඩියි. එබැවින් මේ ව්‍යුහයන්ට ජලයෙන් නිසි ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා.

අපේ ලෝකයේ වර්තමාන තත්වයත් සමඟ අපට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් අත්‍යාවශ්‍යයි. නමුත් ස්වාභාවික පරිසරයක ජීවත් වීම කියලා අදහස් කරන්නේ ගල් ගුහා තුළ ජීවත් වීම නෙවෙයි. අප පරිසර හිතකාමී තීරණ ගන්නවා නම්, අපට සොබාදහම මෙන්ම තාක්ෂණික දියුණුව සමඟත් ඉදිරියට යන්න පුළුවන්. ඉදිකිරීම් කර්මාන්තය ගැන සලකා බැලීමේදී green කොන්ක්‍රීට් කියන්නේ අප විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ප්‍රවණතාවලින් එකක්. ඒ වගේ හරිත සංකල්ප තෝරා ගැනීම මේ ලෝකය තිරසාර කිරීමට උපකාරී වෙනවා.

You reached this far, so will your potential clients.

Decorate this space with your branding!

Default image
S. Herath
වාස්තු විද්‍යා පීඨය, මොරටුව විශ්වවිද්‍යාලය
Articles: 7

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply