ඔබගේ නිවෙස සඳහා අත්තිවාරම් යෙදීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?

ගෙදරක අත්තිවාරම කියන්නේ ඒ ගෙදර හදනකොට තියෙන වැදගත්ම කොටසක් කියලා කිව්වොත් ඔබ මගෙත් එක්ක අනිවාර්යෙන්ම එකඟ වේවි කියලා හිතනවා, ගෙදරක අත්තිවාරම කුමන ආකාරයේ එකක්ද? දැමිය යුත්තේ කෙසේද? භූමිය පිහිටා ඇති මට්ටමේ සිට කොපමණ ගැඹුරකින් ද ? යන කාරණාවන් තීරණය කිරීම සඳහා වරලත් ඉංජිනේරුවෙකුගේ   සහය පැතීම ඉතාමත්ම යෝග්‍යයයි. ඇතැම්විට මේ සඳහා පස් පරීක්ෂාවක් (Soil Investigation) කර බලා ඒ අනුව තීරණ ගැනීමටත් සිදු වන අවස්ථා තිබෙනවා. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ හොඳින් කම්බි දමා, කොන්ක්‍රීට් දැමූ පමණින් ම එය හොඳ අත්තිවාරමක් කියලා, නමුත් ඒ එසේ වෙන්නේ නැහැ . 

සරල උදාහරණයක් ගත හොත් කොච්චර හොඳට සවි ශක්තිමත් ව පුටුවක් හැදුවත් වැඩක් නැහැ ඒක මඩ ගොඩක තිබ්බොත් මොකද ඒක එරෙනවා. ඒ වගේ තමයි අත්තිවාරම් දැමීමේදී යොදන කොන්ක්‍රීට් සහ කම්බි ප්‍රමාණය පමණක් නෙමේ ඔබ නිවස සෑදීම කරනු ලබන භූමිය තුළ ඇති පස් වල දරාගැනීමේ හැකියාව හෙවත් ධාරිතාවය (allowable bearing capacity) ඉතාමත් වැදගත්. ඇතැම් භූමි ප්‍රදේශවල හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති පස් ඉතාමත්ම ඉහළ දී හමු වූවත්, ඇතැම් අවස්ථාවලදී අඩි පනහක් හැටක් ගියත් හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති පස් තට්ටුව හමුවන්නේ නැහැ

විශේෂයෙන් වගුරු බිම් හෝ කුඹුරු ගොඩකර සංවර්ධනය කරන ලද ඉඩම් වල මෙවැනි තත්ත්වයක් දැකිය දැකිය හැකියි. ගොඩක් දෙනෙක් කැමති සහ උත්සාහ කරන්නේ ගංගා හෝ කුඹුරු යායවල් අසල ගෙවල් හදා හදාගන්න. ඉතින් ඒවායේ ලස්සන තැනක ඉඩමක් දැක්කොත් මිලදී ගන්නවා හැබැයි ඒ වගේ ස්ථානවල පස් වල  ඇති දරා ගැනීමේ හැකියාව බොහෝ විට අඩු වීමට හැකියාවක් තියෙනවා ඒ වගේම භූගත ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක තිබිය හැකි මෙවැනි අවස්ථාවලදී අත්තිවාරම සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවෙනවා

සංකීර්ණ පරීක්ෂණ නැති වුණත් ඇතැම් විට පරීක්ෂාව සඳහා වලවල් කීපයක් කපා ඒවායේ පස් වල තත්ත්වය නිරීක්ෂණය කිරීම මගින් පළපුරුදු ඉංජිනේරුවෙකුට බොහෝ දේ කිව හැකියි .නමුත් එය කළ නොහැකි අවස්ථාත් තිබෙනවා,

එවිට බොහෝ විට පොළවේ ඇති පස්, කලුගල් ස්ථරය (basement rock) දක්වා විද පරීක්ෂාව සිදු කරනු ලබනවා. නමුත් මේ සඳහා බොහෝ දෙනකු සිතන තරම් වියදමක් යන්නේ නැහැ ඔබ තනන නිවෙස සඳහා ඔබ වියදම් කිරීමට සූදානම් වන මුදලින් සියයට එකක්වත් ඇතැම් විට වියදම් වන්නේ නැහැ.

නිවාස සඳහා යොදාගත හැකි අත්තිවාරම් වර්ග බොහොමයක් තිබෙනවා කොට්ට අත්තිවාරම්/ බේස් වලවල් (Pad footings) ඉතාමත් ජනප්‍රිය අත්තිවාරම් වර්ගයක්. එලෙසම ධාරිතාව සාපේක්ෂව අඩු අවස්ථාවලදී පටි/තීරු අත්තිවාරම් (Strip foundations) , හෝ පහුරු අත්තිවාරම් (raft Foundation)

ඇතැම් විට හොඳ පස් තට්ටුවක් නොගැඹුරු උසකදී හමු නොවන අවස්ථාවලදී හොඳ පස් තට්ටුවක් දක්වා කැණීම් කර ඒ මත ගල් කුඩු අතුරා අත්තිවාරම් යෙදීම ඉතාමත් ජනප්‍රිය  ක්‍රමයයි. නමුත් එය කළ යුත්තේ විශේෂඥ උපදෙස් මත පමණයි මක්නිසාද එලෙස ගැඹුරු  කැණීම්වලදි අසල ඇති නිවාස, දේපළ වලට හානි වීමේ හැකියාවක් පවතින නිසා සහ ඔබගේ ගොඩනැගිලි ඉදි කරනු ලබන සේවකයින්ගේද ආරක්ෂාව ද වැදගත් වන නිසා               

ඒ වගේම තවත් මතක් කළ යුතුයි, ඔබ ඉතාමත්ම බෑවුම් සහිත ඉඩමක (steep slope ) අත්තිවාරම් දැමීම කරනු ලබනවා නම් එය විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් වෙනවා ඒ මක්නිසාද ඔබගේ සිහින නිවස නිමේෂයකින්ම බෑවුමේ පහලට තල්ලු වී යාමේ හැකියාවක් පවතින නිසා.ඇතැම් විට මෙවැනි ස්ථානවල නිවාස තැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ  (National Building Research Organization) අවසරය විශේෂයෙන් ලබා ගත යුතුයි

හොඳ පස් තට්ටුවක් සැලකිය යුතු ගැඹුරකදී හමුවන්නේ නැත්නම් ටැම් අත්තිවාරම් (Pile foundation) වුණත් භාවිතා කිරීමට සිදුවෙනවා සිදු වෙනවා. නමුත් මෙය වියදම් අධික ක්‍රමයක් දැනට ශ්‍රී ලංකාවේ පවතින ඉදිකිරීම් තාක්ෂණයේ දියුණුවත් සමඟම එවැනි අත්තිවාරම් නිවාස සඳහා ද සුලබව භාවිතා කරනු ලබනවා. මෙවැනි තත්ත්වයක් තුළ දී අනිවාර්යෙන්ම පොළවේ ඇති පස්, කලුගල් ස්ථරය (basement rock) දක්වා විද පරීක්ෂා කිරීම  කල යුතුයි.

නිවසක් සෑදීමට පෙර පස් වල තත්ත්වය පරික්ෂා කිරීම ඉතා ඈත අතීතයේ පවා සිදුවී තිබෙනවා. වර්තමානයේ අප භාවිතා කරනු ලබන බටහිර ඉංජිනේරු විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඒ ආකාරයෙන්ම සමපාත නොවුවද අතීත ශ්‍රී ලංකාවේ ද භූමියේ පසේ ස්වභාවය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් තිබී ඇති අතර ඒ පිළිබඳ විස්තර හරමානිස් අප්පුහාමි මහතා විසින් ලියා ඇති “වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය” නම් නම් ග්‍රන්තයේ ඉතා පැහැදිලිව පැහැදිලිව සඳහන් කොට තිබෙනවා.

අතීතයේ පැවති අඩු ජන ඝනත්වය අනුව නිවාස සෑදීමට ඉඩමක් සොයාගැනීම අපහසු නොවූවත් අද එසේ නොවන නිසා බොහෝ විට අපට සිදුවී ඇත්තේ අපට සොයා ගත හැකි එකම ඉඩම තුළ කුමන ආකාරය හෝ අත්තිවාරමක් යොදා අපගේ සිහින නිවාස ඉදිකර ගැනීමයි

සත්‍ය වශයෙන්ම අද දවසේදී සිදුවන වේගවත් නාගරික කරනය හේතුවෙන් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල නිවාස සඳහා නිවාස සෑදීම සඳහා ඉඩම් වලට ඇත්තේ අධික ඉල්ලුමක්, ඉතින් මෙම ඉල්ලුම තුළ ඉතිරි වී ඇති බොහෝමයක් ඉඩම්වල පස්වල තත්ත්වය ඉතාමත්ම හොඳ විය නොහැක. මේ හේතුකොටගෙන ඔබගේ නිවෙස සඳහා අත්තිවාරම් දැමීමේදී ඉතාමත්ම වගකීමෙන් යුතුව කටයුතු කිරීම සහ ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගැනීම ඔබගේ මෙන්ම අසල්වැසියන්ගේද ආරක්ෂාව සඳහා ඔබ කළ යුතුම කටයුත්තක්.

කර්තෘ – වරලත් ඉංජිනේරු මංගල සිල්වා


Eng.Mangala Silva
Professional in charge – Civil Engineering

Eng.Mangala Silva
BSc.Eng(Hons), MEng (St. Eng.Designs), C.Eng.,FIE(SL),MSSE(SL),IntPE(Sri Lanka), GREENSL® AP
mangala_xp@yahoo.com


දැන්ම Subscribe කර ඉදිරියේදී පළ වන ලිපි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වන්න.

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

One comment

  1. රෝහිත ලියනගේ
    රෝහිත ලියනගේ

    ඉතා පැහැදිලි දැනුවත් කිරීමකි.නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වන දැනගත යුතුම කරුනකි

Leave a Reply