භූමි දර්ශනයේ ක්ෂණික මවිතයන්ගෙන් හුදෙකලාවට සහනයක්

වර්තමාන තත්වය

කොවිඩ් -19 වසංගතය මේ වන විට අපගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු වලට විශාල බලපෑමක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. යහපත් සෞඛ්ය තත්වයකින් සිටීම ඕනෑම පුද්ගලයෙකුට, තම ජීවන රටාවට හෝ එහි මූලික පැවැත්මට අත්යවශ්ය දෙයකි. මෙම වසංගතය තුරන් කිරීමට ගෙන ඇති මූලික ක්‍රියාමාර්ග වන, සමාජ ක්‍රියාකාරකම් අවම කිරීම, මිනිසුන් එක්රැස් වීම් අවම කිරීම සහ දුරස්ථව පමණක් සන්නිවේදනය කිරීමට ඉඩ ලබාදීම වැනි ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජන ජීවිතය තරමක් අප්රසන්න වී ඇති බව අපට දැකිය හැක.

මේ වනවිට නිරන්තරයෙන්ම රෑපවාහිනී ප්‍රවෘත්ති නාලිකා වල නැරඹීමට ඇත්තේ, මානසික ආතතීන් ඇති කිරීමට හැකි දේය. නරඹන්නන්ගේ මනස තෘප්තිමත් කිරීමට හැකි  දිය ඇලි, වෙල් යායවල් වැනි මිනිස්සුන්ගේ මනස සන්සුන් කරන භුමි දර්ශන යොදගනිමින්, ‘තත්පර 30’, ‘හරිත මොහොත’ වැනි නව වැඩසටහන් හදුන්වාදීමට රෑපවාහිනී නාලිකා මේ වනවිට තීරණය කර ඇත.

සිසුන් තම අධ්‍යාපන කටයුතු පරිගණක තිරයට අවධානය යොමු කරමින් සිදු කරයි. දෙමව්පියන්ද නිවසේ සිට තම කාර්යාලීය කටයුතු සිදු කරමින්, සමාජය හා ගැටීමෙන් සිදුවන ආසාදන අවදානම වළක්වා ගැනීමට උත්සාහ දරයි. අපට මේ ආකාරයට අපගේ එදිනෙදා කටයුතු සිදු කිරීමට හැකි වුවද, අප සමාජයෙන් හුදකලා වී, අන් අය සමඟ මුහුණට මුහුණ හමුවීමෙන් වැළකී ඔවුන්ගෙන් දුරස්ව සිටිය යුතුය. මේ අනුව, එක් එක් පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික සීමාවක් පවත්වා ගත යුතු වී ඇති අතර, ඔවුන් එය තුළ හුදකලා වී ඇත. මිනිසුන් යනු ස්වභාවයෙන්ම සමූහයක් ලෙස ජිවත් වීමට කැමති ජිවි කොටසක් වන බැවින්, හුදෙකලා වී සිටීම යනු ඔවුන් බොහෝ දෙනෙක්ට ආතතිය ඇති කිරීමට හැකි හේතුවකි.

ක්ෂණිකව සිත් ඇදගැනීම

භුමි දර්ශනයට සිත ආකර්ෂණය කරවීම පෙර සදහන් කල තත්වයන්ට විසදුමක් වේ. ‘පණ්ඩිත් අමරදේව’ ශූරීන්ගේ ‘පාවෙලා නිල්වලාවේ’ යන ගීතය මගේ මතකයට එයි. එහි ‘නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ.. කැලුම් සැඟවුණාදෝ’ යන පද පේලියෙන්, ක්ෂණික සතුටු හමුවීමක් ලෙස එය දක්වයි. මෙලෙස සොබාදහමේ දායාදයන්හට සැමවිටම මිනිසුන්ගේ සිත් සන්සුන් කිරීමේ සහ සැනසීමේ හැකියාව ඇත.

සිත වශී වීම යනු, යමෙකු කිසියම් දෙයකට ආකර්ෂණය වූ විට, ඒ පිළිබඳව විස්මය දනවන, ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමුවන ක්ෂණික මානසික ස්වාභාවයකි. එහිදි සිත ඇදගනීම, විශ්වාසවන්ත බව හා පැහැදිලිකම වැනි හැඟීම් උපදවයි. සිත වශී වීම යනු, හුදෙක් පුද්ගලයෙකුගේ කැමැත්තට වඩා සිත් ඇදගන්නා සුළු බව යන්න අර්ථවත් කරයි. ලතින් භාෂාවෙහි ‘Fascinare’ ලෙස දැක්වෙන මෙහි අර්ථය දක්වන්නේ ‘වශී කිරීම’ ලෙසයි. ඒ මොහොතේ සිතුවිලි ගලා යන ආකාරය අනුව, මිනිසාගේ මොළය අර්ධ ප්රීතිමත් ස්වාභාවයක පවති. එම ස්වාභාවය තරමක් සිතෙහි සතුටට සමාන වුවත්, එම අවස්ථාව විදිමේදි එය වෙනස් ලෙස දැකිය හැක.

‘Attention Restoration Therapy (ART)’ යන සංකල්පයේ එක් කොටසක් වන භුමි දර්ශනයට සිත ආකර්ශනය කිරීම යනු, අඛණ්ඩව මනසින් අප අවධානය යොමු කරමින් සිදුකරන, අප සිතෙහි ආතතීන් ඇති කරන ක්‍රියාකාරකම් වලට සහනයකි. එවැනි කටයුතු වලින් හැකිතාක් ඈත්ව සිටීම හෝ සේවා ස්ථානයෙන් ඈත්ව සිටීම සහ විවිධ හමුවීම් සදහා වෙනත් ස්ථාන වලට යාම, තවත් එලෙස සිදුකල හැකි දේය. මෙලෙස, දීර්ඝ කාලයක් පරිඝණක වැනි තාක්ෂණික උපාංග සමඟ හෝ වෙනත් දැඩි අවධානය යොමුකල යුතු කටයුතු වල නිරත වන අවස්ථා වලදි, මනෝ චිකිත්සකවරයින් විසින් ඉහත සදහන් කල ප්‍රතිකාර නිර්දේශ කරන අතර, එයට අවශ්‍ය වන, මිනිසුන්ගේ සිත් ආකර්ෂණය කල හැකි පසුබිමක් සැකසීම භුමි නිර්මාණවේදී ශිල්පීන් සතු කාර්යයකි. ගස්වැල්, ජලය සහ විවෘත අහස වැනි දේ සොබාදහමෙන් අපට ලැබුන දායද වුවද, ක්‍රමයෙන් වැඩි වන මිනිස් ජනාවාස තුළ, එවැනි ස්වාභාවික අංගයන් රැක ගනිමින් ඒවා මනාව හැසිරවිය යුතුය.

මනස සහ එහි කාර්යය

‘Claus-Christian Carbon’, ‘Rachel Kaplan’ සහ ‘Stephen Kaplan’ යනු, මිනිසා සහ පරිසරය අතර ඇති සම්බන්ධය පිළිබඳව මනෝ විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට විශාල දායකත්වයක් සැපයු මනෝ විද්‍යාඥයින් වේ. භූමි නිර්මාණවේදී ශිල්පීන් සැමවිටම, මිනිසුන්ට පහසු සහ මිනිසාගේ මනසට සහනයක් ලබා දීමට හැකි ලෙස පරිසරය සැලසුම් කරන්නේ  සැලසුම් කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය. අනෙකුත් ස්ථායී ලක්ෂණ මෙන් නොව, සිත වශී කිරීම යනු අස්ථායී ක්ෂනිකයෙන් නැතිවිය හැකි ගුණාංගයකි. තව දුරටත් සලකා බැලූවිට, සිත් ඇදගන්නා සුළු වස්තුවක් වඩාත් පැහැදිලි වන අතර, මොහොතකදී එහි සතුටු ස්වාභාවය නැති වී යයි.

මිනිස් සිතෙහි විස්මය ඇති කිරීමට සමත් භු අංග මොනවාද? එය සමස්ත දර්ශනයද, එසේ නොමැති නම් එය තුළ කුඩා කාලයක් පවතින අංගයක්ද? යම්කිසි දෙයක් සංවේදනය කිරිමේදි සහ තේරැම් ගැනීමේදි, සමහරවිට සතුටින් කෑගැසීමක්, ගැඹුරු හුස්මක් හෝ සතුටින් ඇස් විශාල වීමක් වැනි ලක්ෂණ උද්දීපනය වේ. එය වියලි බිමකට වැටුණු වැහිබිදු නිසා නැගෙන නැවුම් සුවඳ, සිලුටු කොළයකින් වතුර බිදු වැටීම, හිරැ එළිය වතුර මතට වැටී දිලීසීම, වැහි බිංදු වැටෙන ශබ්දය සහ එහි රටාව වැනි තවත් බොහෝ දේ විය හැකිය. වියළි මද සුළං සහිත දවසක, උණ ගස් වලින් නැගෙන හඩ හෝ වියළි දිනයක හදිසියේ නැගෙන සිසිල් සුළග අපව විස්මයට පත් කරයි. එ්වා අවධානය දිනාගන්නා දේය. සමනලයෙකු පියඹා යාම හෝ එහි සෙවනැල්ල සිත් ඇදගන්නා සුළු විය හැකිය. බොහෝ විට මෙම අංගයන්ට, ක්ෂණික හෝ විස්මය දැනවිය හැකි චලනයක් ඇත. මීදුම ගලායාම, දුරින් පිහිටි ගිනි මැලයකින් දුමාරය නැගීම, වේගයෙන් වැසි වැටීම හෝ වලාකුළු වල චලනය තවත්  එවැනි අංග විය හැක. මෙම රටාවන් නොසෙලවෙන පසුබිමකට එරෙහිව ගලා යයි.

දිනක් මම පහත මහලක පන්තියක උගන්වමින් සිටි මතකයක් මා සිතට නැගේ. මට ඉදිරිපසින් ජනේලයක් තිබු අතර, සිසුන් එයට පිටුපා වාඩිවී සිටියහ. ජනේලයෙන් පිටත, ජනෙල් රාමුවට නොපෙනෙන තරමට ඉහළින් අතු පැවති, පැරණි ‘කහ මාර’ (Peltophorum inerme) ගසක් විය. එදින වියළි උණුසුම් දිනයක් වුවද, හදිසියේම අනපේක්ෂිත සුළඟක් හමා විත්, ගසෙහි අතු සොලවමින්,  කුඩා කොළ වැස්සක් ගෙන ඒමට සමත් විය. එය මා මෙන්ම සිසුන්ද විස්මිත ලෙස අත්විඳින ලදි. ඉන් පසුව අප මෙම සංසිද්ධියට හේතුව කුමක්ද යන්න විමසා බලන විට, එය සැබවින්ම සුළඟක් ද, නැතිනම් කුරුල්ලෙකුගේ පැමිණිම නිසාවෙන් ගසෙහි අතු සෙලවුනාද යන්න ගැටලුවක් විය. මේ සියලු හේතුන් නිරික්ෂණය කරන විට එම සිදුවීම පිළිබඳව තිබු ආකර්ෂණය කෙමෙන් නැති වී ගියේය. එම මොහොතේ එතන සිටි සියල්ලන්ම මේ මොහොතේ තිබු විස්මිත බව විදගත්තේද නැත. සමහරුන් එය පිළිබඳ සැලකිලිමත් වුයේ නැත. මෙලෙස සලකා බලන විට, යම් දෙයක අලංකාරය ලෙසම, සිත් ඇදගනීමද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේද?

හදිසියේම දැකගත්, ශාකයක නව අංකුරයක් හෝ පර්ණාංගයක වක්‍ර නොවු අළුත් අලුත් කොළයක් සිත් ඇදගන්නා සුළු විය හැකිය. කුහුඹුවන් ගමන් කරන පාරක් හෝ කුරුලු කූඩුවක් සොයා ගැනීමත් එවැනිය. නමුත් සමහරුන් මේවැනි දේ වල ඇති අලංකාරය නොදකින්නේ ඇයි? පුද්ගලයෙකුගේ කැමැත්ත, සංවේදීතාව, වැටහීම සහ දැනුම වැනි ගුණාංග, යම් කිසි දෙයකට ඇතිවන ආකර්ෂණයට හේතු වන්නේ මෙහිදීය.

අභිරහස් යනු මානසික ආතතියෙන් මිදීමට තවත් අංගයකි. මෙහිදි මනස ආකර්ෂණයේ සිට පුදුමය දක්වා ගමන් කරයි. නැවතත්, මෙවැනි බොහෝ අත්දැකීම තාවකාලික වේ. හදිසියේම ඇති වන ගිගුරුම් සහිත වැස්සක හෝ තද සුලං සහිත කුණාටුවක පැහැදිලිව තේරැම් ගතහැකි වෙනසක් ඇත. සැළසුම් කල ගිනිකෙළි  සංදර්ශනයකින් වුවද අයෙකුුට සතුටක් ලබාගත හැක. රාත්රී අහස පිළිබඳව හොදින් අධ්‍යයනය කිරිමේදි එහි ඉතා අලංකාර අවස්ථා ඇතිබව දැකිය හැක. පසුගිය දෙසැම්බර් 21 වෙනිදා, බ්රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක වල සංගමනයක්ද අපට දැකගත හැකි විය.

එකිනෙකට දුරින් පිහිටි කදුකර ස්ථරයන්, මීදුමෙන් වැසීමෙන් සහ ක්ෂණිකව නැවතත් මීදුම ඉවත් වීමෙන් සිත් ඇදගන්නා සුළු දර්ශනයන් නිර්මාණය කරයි. නමුත් කඳු පන්තිය මගින් එයට පැහැදිලි බවක් පමණක් ලබා දේ. රාත්රී අහස තරම් විස්මය දැනවිය හැකි තවත්  දර්ශනයක් නොමැත. එවැනි අලංකාර දර්ශනයන්, මිනිසා විසින් තැනු ව්‍යුහයන්, වයර හෝ කණු වැනි දෙයින් බාධා නොවන ලෙස ආරක්ෂා කිරීම නිර්මාණය කරන්නා සතු වගකීමකි.

එළිමහන් සඳහා සිත් ඇදගන්නා නිර්මාණ

මූලික ක්‍රියාකාරකම් වලට ප්රමුඛස්ථානයක් ලබා දෙමින් සිත් ඇදගන්නා සුලු නිර්මාණයන් කිරීම දුර්ලභ ය. කෙසේ වෙතත් දක්ෂ ක්‍රමෝපායන් භාවිතා කරමින් නිර්මාණය සැලසුම් කරන්නේ නම්, එය සිත් ඇදගන්නාසුළු නිර්මාණයක් ලෙස සිදුකල හැක. ඉතින්, භූමි නිර්මාණවේදී ශිල්පියාගේ කාර්යයභාරය කුමක්ද? එය සිත් ආකර්ෂණය කරගන්නා අවස්ථාවන් සැපයීමට හැකි භූමි දර්ශන සහ අංග සැපයීමක් විය හැක. හොදින් සැලසුම් කරන ලද එළිමහන් ස්ථානයක් තුළ විවිධ උපයෝගී ව්‍යුහයන් සහ ආකෘතින් වැනි බොහෝ අංගයන්, භුමියත් සමග සංයෝජනය වී තිබිය හැක. නමුත් ඒවා ආකර්ෂණයක් ඇති කිරීමට සමත් ද?

ඇමරිකානු චිත්‍ර ශිල්පී ‘Thomas Kinkade’, ‘ආලෝකයේ චිත්‍ර ශිල්පියා’ ලෙස නම් දරයි. ඔහු භූමි දර්ශන චිත්‍ර නිර්මාණයේදී සිත්ගන්නාසුලු අංග යොදාගෙන ඇත. එය සිතුවමක්ද? නැතිනම් එම භූ දර්ශනයට චිත්‍ර ශිල්පියා වශී වුවද? යන්න එම චිත්‍ර නරඹන්නට ඇතිවන ගැටලුවකි. ගැඹුරු තේරැමක් සහිත දිව්‍යමය යුගයක් ලෙස නිරෑපනය වන, මනාව ස්ථානගත කර ඇති නිර්මාණය කල පොකුණක් සහිත දක්ෂ නිර්මාණයට, සඳ එළියේ පැහැදිලි පරාවර්තනයක් අල්ලා ගැනීමට හැකි වි ඇත. මෙම දර්ශනය රාත්‍රි කාලයේ වැඩ කරන සේවකයෙකුට හෝ සිසුවෙකුට ජනේලයෙන් එබී බැලූ විට හෝ නැවුම් වාතය ලබා ගැනීමට ආලින්දයට ගියවිට දර්ශනය වීම, සිත් ඇදගන්නාසුළු වේ. නිර්මාණයට නිවැරැදි ශාක වර්ග තෝරාගැනීමෙන්, එවැනි අලංකාර අවස්ථාවන් නිර්මාණට විශාල අවස්ථාවක් හිමි වේ.

දළ ලෝහයන්ට ප්‍රතිවිරුද්ධව දිලිසෙන ශාක පත් හෝ සුළගට සෙලවෙන විට හඩක් නගන උණ ශාක තෝරාගැනීමෙන්, තමා සිදුකරන වැඩ වලින් අවධානය මදකට ඈත් කොට මානසික සහනයක් ලබාදීමට මෙන්ම එළිමහන් පරිසරයේ මද සුළගක් ඇති කිරීමටද උපයෝගී කර ගත හැක. නිර්මාණයට අවශ්‍ය අමු ද්‍රව්‍ය සහ ශාක පරිස්සමින් තෝරා ගෙන පරිසරයට සංවේදී නිර්මාණයක් බිහි කිරිමෙන්, එය ආහාර ප්‍රභවයක් ලෙස මෙන්ම කුරැල්ලන්, කෘමින්, උරගයින්, ක්ෂිරපායින් වැනි විවිධ සත්වයින්ගේ වාසස්ථානයක් ලෙසද ක්‍රියා කිරීමට ඉඩ ඇත. කහ කුරුල්ලන්, සැලළිහිණියන්, පොල්කිච්චන් යන පක්ෂින්ගේ ගීත ඉතාමත් සිත්ගන්නා සුලු වේ. ඒවාට සවන් දීමෙන් අපගේ වැඩ කටයුතු වලින් මොහොතකට මිදි, සිත නැවුම් බවින් පුරවා ගත හැක. විවිධ රටා වලින් යුක්ත වු, මිනිසා විසින් සැලසුම් කල සහ පාලනය කරන, ජල තිරවල පවා සිත්ගන්නා සුලු, විස්මය දැනවන ස්වාභාවයක් ඇත.

Oriole
Magpie-robin | Source – ebird.org

භූමි කළමනාකරණය

උද්යානයකට වතුර දැමීමේන් පවා අපට මානසික සහනයක් ලබා ගත හැකිය. ජලය විසිරවීමෙි සහ ගලායාමේ රටාවන්, විවිධ වර්ග වල ගස්වැල් සඳහා යොදන ජල ප්‍රමාණය වෙනස් කල යුතු බව වැනි දේට මෙහිදි අවධානය යොමු කල යුතුය. පිටියක වැටී ඇති වියළි කොළ අතුගා දැමීම එතරමි ආකර්ෂණීය නොවුනත් එයද පුද්ගලයෙකුට මානසික සහනයක් විය හැක. අඩු උද්‍යාන කළමණාකරනය නිසා ශාක වලට හානි ඇති විමෙන් මලානික දර්ශන ඇති විය හැකි අතර එය අප සිතෙහි ආතතිය ඇති කිරිමට පමණක් හේතු වේ. හොඳින් රැකබලාගත් සහ අවශ්‍ය සාධක ලැබෙන පරිදි සිටුවා ඇති ගස්වැල්, ‘Kinkade’ නම් චිත්‍ර ශිල්පියාගේ සිතුවමක ඇති දේ මෙන් අලංකාර විය හැක.

Thomas Kinkade painting | Source – https://thomaskinkade.com/

ඔබේ සහනයට

නැවත වතාවක් ඔබට පරිගණකය, රූපවාහිනිය වැනි තාක්ෂණික උපාංග වලින් විවේකයක් අවශ්ය වු විට හෝ පොදු ප්රවාහනයකදි ඔබ හුදකලා වි සිටින විට, ඉහත සදහන් කල ඔබව විමතියට පත් කරන, සිත්ගන්නා සුළු අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසා ගැනීමෙන් සහනයක් භූමි දර්ශනයෙන් ලැබීම තහවුරු වේ.

කර්තෘ – වරලත් වාස්තු විද්‍යාවේදී / වරලත් භූ දර්ශන වාස්තු විද්‍යාවේදී ෂෙරීන් අමේන්ද්‍ර

පරිවර්තනය – සඳුනි පියුමිකා (වාස්තුවිද්‍යා පීඨය – මොරටුව විශ්වවිද්‍යාලය)


Shereen Amendra
Professional in charge – Landscape Architecture

Shereen Amendra
Chartered Architect / Chartered Landscape Architect
shereen.amendra@gmail.com


Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

Leave a Reply