අපට අයත් නිවාස සහ ඉඩම් භුක්ති විඳීමේ දී මෙන්ම එම දේපළ වෙනත් අයෙකුට හිමිකර දීමේ දී ද නීතිමය වශයෙන් විවිධ ගැටළුකාරී තත්ත්වයන් ඇති විය හැක. ඒ අනුව ජීවත්ව සිටින විටදී දේපල අයිතීන් බැහැර කිරීම සහ මරණයෙන් පසු එම දේපළ හිමි වීම පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ. එසේ හෙයින් මෙම ලිපිය මගින් යම් අයකුට අයත් දේපල බැහැර කිරීම් සහ ඔහුගේ මරණය සිදු වීමෙන් පසු එම දේපළක හිමිකාරත්වය ලැබීමට අදාළ නෛතික කරුණු කිහිපයක් පිළිබඳව සැකෙවින් ඔබ දැනුවත් කිරීම අපේක්ෂා කර සිටිමි.
ඔබට යම් දේපළක අයිතිය මිලදී ගැනීමකින්, උරුමයෙන්, තෑගි ලැබීමෙන්, ප්‍රදානයක් මගින් හෝ දීර්ඝකාලීන භුක්තිය මගින් ආදී විවිධ විවිධාකාරයෙන් ලැබී තිබිය හැක. ඒ කවරාකාරයෙන්යෙන් හිමි වුවද ඔබ ජීවතුන් අතර සිටින තාක් එකී දේපළෙහි විවිධ සංවර්ධනයන් සිදු කරමින් භුක්ති විඳීම ඔබ විසින් හෝ ඔබ විසින් අවසර ලබා දෙන අයකු විසින් හෝ සිදු කරනු ලබයි. තවද එකී දේපල බදු දීම හා ණය පහසුකම් ලබා ගැනීම සඳහා උකස් කිරීම ආදී කටයුතුද සිදු කරමින් එකී දේපලේ ඵල ප්‍රයෝජන බුක්ති විඳීම අයිතිකරු විසින් සිදු කරනු ඇත. මේ අනුව දේපල හිමිකරු ජීවත්ව සිටියදී දේපල සම්බන්ධයෙන් අවශ්‍ය වන සියලු ගිවිස ගැනීම් සහ පැවරීම් ඔහු විසින්ම හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ අයකු විසින් සිදු කළ හැකි වේ.
වර්ෂ 1840 අංක 07 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, ඉඩම් සම්බන්ධයෙන් වන ගනුදෙනු නොතාරිස්වරයකු විසින් සහතික කරනු ලබන ඔප්පුවක් මගින් සිදුකළ යුතුවේ. එකී පනතේ 02 වගන්තිය අනුව එවැනි ඔප්පුවක් ලිඛිත විය යුතු අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඉදිරියේ දී අදාළ පාර්ශවකරු විසින් හෝ ඇටෝර්නි බලපත්‍රයක් මත නීත්‍යානුකූලව බලය හිමි ඇටෝර්නි බලකරු විසින් අත්සන් කරනු ලැබිය යුතු වේ.
මේ අනුව යම් දේපලක නීත්‍යානුකූල අයිතිකරු විසින් දේපලක් යම්කිසි මුදලකට විකුනා, පවරා දීමට අදහස් කරනු ලබන්නේ නම් විකුනුම්කර ඔප්පුවක් මගින් එය සිදු කළ හැකි අතර අදාළ විකුනුම්කර ඔප්පුවට ගෙවිය යුතු වන මුද්දර ගාස්තු සහ අනෙකුත් වෘත්තීමය ගාස්තු අදාල ගැනුම්කරු විසින් ගෙවීම සිදු වේ.
තවද යම් දේපලක් කිසිදු මුදල් ලාභයක් ලබා ගැනීමකින් තොරව ආදරය, කරුණාව, දයාව වැනි යහපත් සංකල්පනාවන් පදනම් කර කරගෙන කරනු ලබන ප්‍රදානයක් මගින් අනෙකාට පවරා දිය හැක. බොහෝ අවස්ථාවලදී පවුලේ අයවලුන් අතර මෙලෙස දේපළ හිමිකරදීම සිදුවේ. එහිදී ත්‍යාග දීමනාකරු සහ ත්‍යාගලාභියා යන දෙදෙනාම විසින්ම අත්සන් කර ත්‍යාග ඔප්පුවක් පිළියෙල කරනු ලබයි. එම ත්‍යාගලාභියා බාලවයස්කරුවෙකු නම් හෝ ඔහුට යම් නොහැකියාවක් පවතින විටදී එකී ත්‍යාගලාභියා වෙනුවෙන් වෙනත් අයකුට වුවද එකී ත්‍යාගය භාර ගනිමින් එම ඔප්පුවට අත්සන් තැබිය හැක.
මෙහිදී ත්‍යාග දීමනාකරුට විවිධ කොන්දේසි වලට යටත්ව ත්‍යාගයන් ලබා දිය හැකි අතර බොහෝ අවස්ථාවලදී ත්‍යාග දීමනාකරු හෝ ඔහු විසින් නම් කරනු ලබන අයෙකුගේ ජීවිත බුක්තියට යටත් ව එකී දේපල ත්‍යාග දීම සිදු කළ හැක. එලෙස ජීවිත බුක්තියට යටත්ව ත්‍යාග දීමකදී ත්‍යාග ලැබුම්කරුට එකී දේපල සම්බන්ධයෙන් නියමිත අයිතිය සම්පූර්ණ ව හිමි වන්නේ එකී ජීවිත භුක්තිය සහිත අනෙක් අයගේ මරණින් පසුව වේ.
එසේම හිමිකම් සහතිකයක් මත දේපලක අයිතිය විධිමත් කර ඇති අවස්ථාවක දී බැහැර කිරීම් වලට අදාල වන ඉහත කී පරිදි හුරුපුරුදු ආකාරයේ විකුනුම්කර සහ ත්‍යාග ඔප්පු සකස් කිරීමක් සිදුනොවන අතර ඊට අදාළ සාධන පත්‍රයක් මගින් එකී බැහැර කිරීම් සිදුවේ. නිසි පරිදි සකස් කරන ලද සාධන පත්‍රය ලියාපදිංචියට ලබාදීමෙන් පසු නව පැවරුම්ලාභියා නමින් හිමිකම් සහතිකයක් නිකුත් කරනු ලැබේ.
ඉහත සඳහන් පරිදි විකිණීමකින් හෝ ත්‍යාග දීමකින් තමා සතු දේපළ බැහැර කරනු ලැබූ විටක එම ඉඩම පිහිටි පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට එකී පැවරීමට අදාළව මුද්දර ගාස්තු නිසි පරිදි ගෙවීම සිදුකල යුතුවේ. මුද්දර ගාස්තු ලෙස ගෙවිය යුතු මුදල සම්බන්ධයෙන් අදාළ පළාත් ආදායම් කොමසාරිස්වරයාගේ මතය විමසා ලබාගත හැකි අතර එහිදී නියම කරනු ලබන මුද්දර ගාස්තුව ගෙවීමෙන් පසු අදාළ සාධන පත්‍රය නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවන ලද සාධන පත්‍රයක් බවට පළාත් ආදායම් කොමසාරිස්වරයා මගින් සහතික කර ගැනීමටද හැකි බැවින් මුද්දර ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළුකාරී තත්වයන් එමගින් මග හරවා ගත හැකි වේ.
තමා සතු දේපල ඉහත පරිදි බැහැර කරනු ලැබ නොමැති වුවද, තම ඉඩම්, නිවාස ආදි නිශ්චල දේපළ ද සහ මුදල්, යාන වාහන ආදී චංචල දේපළ ද මරණින් පසු හිමිවිය යුත්තේ කවුරුන් හටද යන්න සදහන් කරමින් අන්තිම කැමති පත්‍රය නම් ලියවිල්ලක් සකස් කරනු ලැබිය හැකිය.
වර්ශ 1840 අංක 07 දරණ වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් දෙයාකාරයකට සකස් කළ හැකි වේ. එනම් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ නොතාරිස්වරයකු ඉදිරියේ අත්සන් කිරීමෙන් හෝ නොතාරිස්වරයෙකු නොමැති අවස්ථාවකදී සාක්ෂි කරුවන් පස් දෙනෙකු ඉදිරියේදී අත්සන් කිරීමෙන් ය. එසේම වලංගු අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුය.
එවැනි අන්තිම කැමති පත්‍රයක් මගින් තමන් සතු දේපල උරුම අයිතිවාසිකමක් නොමැති ඕනෑම කෙනෙකු වෙත වුවද වෙන්කර තැබිය හැකි අතර අවශ්‍ය නම් තමාට අනාගතයේ දී අයත් වීමට ඇති දේපළ පවා කල් තබා බැහැර කරනු ලැබිය හැකිය. මෙහිදී ලංකාවේ පවතින දේපලක් පමණක් හිමි කර දිය හැකි අතර ලංකාවේ පවතින දේපළට අදාළව විදේශ රටකදී වුවද අන්තිම කැමති පත්‍රයක් සකස් කළ හැකි නමුත් එම ලේඛනය අදාළ රටේ පවතින නීතියට අනුකූලව සකස් කර තිබිය යුතුවේ. එසේම තනි තනිව පමණක් නොව ස්වාමි පුරුෂයා සහ භාර්යාව විසින් හවුලේ ද අන්තිම කැමති පත්‍ර පිළියෙල කළ හැකි වේ.
අන්තිම කැමති පත්‍රයක් එහි අන්තිම කැමැත්ත සඳහන් කරනු ලබන තැනැත්තාගේ ඉල්ලීම මත විනාශ කර අවලංගු කළ හැකි අතර යම් පුද්ගලයෙකුට අන්තිම කැමති පත්‍රයන් කීපයක් වුවද සකස් කළ හැකි නමුත් වලංගු ලෙස සලකනු ලබන්නේ අවසානයට ලියන ලද අන්තිම කැමැත්ත වේ. අන්තිම කැමති පත්‍රයෙන් බූදලෙයේ කටයුතු කිරීමට පවරනු ලැබ ඇති තැනැත්තා පොල්මඃකරු ලෙස හඳුන්වයි.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ අන්තිම කැමැත්ත ලියා තිබූ පමණින්ම එකී දේපළ සම්බන්ධ අයිතිය අහිමි වීමක් සිදු නොවන අතර අන්තිම කැමැත්තක් ලියා තිබියදී වුවද එය නොසලකා හැර, තම දේපළ විකිණීම, පැවරීම හෝ වෙනත් ඕනෑම දෙයක් සිදු කිරීමට අදාළ දේපළ අයිතිකරුට හිමිකම පැවතීමයි. එනම් අන්තිම කැමති පත්‍රයක් මගින් කරනු ලබන පවරා දීම සම්පූර්ණ වීමට නම් අන්තිම කැමතිපත්‍රකරුගේ මරණය සිදුවීම සහ නිසි අධිකරණයක් ඉදිරියේ දී එම අන්තිම කැමති පත්‍රය ඔප්පු කිරීම සිදු විය යුතු වේ.
යමෙකු අන්තිම කැමති පත්‍රයක් තබා මියගිය විට සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන ප්‍රකාරව අන්තිම කැමති පත්‍රයේ පොල්මඃකරු ලෙස සඳහන් අය පදිංචිව සිටින ප්‍රදේශයේ හෝ අන්තිම කැමති පත්‍ර කරුගේ මරණය සිදු වන විට පදිංචි වී සිටි ප්‍රදේශයේ හෝ අන්තිම කැමතිපත්‍රකරුගේ බූදලයට අයත් යම් දේපලක් පිහිටා ඇති ප්‍රදේශයේ හෝ දිසා අධිකරණයට අන්තිම කැමති පත්‍රය සොයා ගත් දින සිට මාස තුනක් ඇතුළත ඉල්ලීමක් සිදු කළ යුතුවේ. එකී ඉල්ලීමට අදාළව නඩුවෙහි පියවර අවසන් වූ පසු එකී අන්තිම කැමැත්ත පරිදි නිශ්චල දේපල පවරා දීම සඳහා පොල්මඃකාර පැවරුම්කරයක් සකස් කිරීම සිදුවන අතර එමගින් අන්තිම කැමති පත්‍රයේ සඳහන් ආකාරයට නව පැවරුම්ලාභියාට අදාළ දේපළ සම්බන්ධ නීත්‍යානුකූල අයිතිය හිමි වීම සිදුවේ.
තමන් සතු දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් සකස් කර නොතිබියදී පුද්ගලයෙකු මරණයට පත් වුවහොත් එම මියගිය පුද්ගලයාට නීත්‍යානුකූලව හිමිව තිබූ දේපළ වලට කුමක් සිදුවේද යන්න විමසා බැලිය යුතු වේ.
අන්තිම කැමති පත්‍රයක් නොමැති අවස්ථාවකදී උරුමය මත දේපළ අයිතිවාසිකම් හිමිවන අතර එහිදී මියගිය පුද්ගලයාට අදාළ වන පුද්ගල නීතිය අනුව උරුම හිමිකම් වෙනස් වේ.
සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ XXXVIII පරිච්ඡේදයෙහි සවිස්තරව දක්වා ඇති පරිදි යම් තැනැත්තෙකු අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගිය විට හෝ අන්තිම කැමති පත්‍රයක් සොයාගත නොහැකි වූ විට, එම තැනැත්තා ශ්‍රී ලංකාව තුළ දේපල තබා මියගොස් ඇති අවස්ථාවක මියගිය තැනැත්තාගේ බූදලය අද්මිනිස්ත්‍රාසි කර ගැනීම සඳහා ඔහුගේ මියයාමෙන් මාස තුනක කාලයක් ඇතුළත ඉල්ලීමක් දිසා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ. එවැනි ඉල්ලීමක් එම බූදලය හා සම්බන්ධයක් ඇති කවර හෝ තැනැත්තෙකුට තමන් පදිංචිව සිටින ප්‍රදේශයේ හෝ මියගිය අයගේ මරණය සිදු වන විට පදිංචි වී සිටි ප්‍රදේශයේ හෝ මියගිය අයට අයත් යම් දේපලක් පිහිටා ඇති ප්‍රදේශයේ හෝ දිසා අධිකරණයට සිදු කළ හැකි වේ.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් නඩුවේ සියලු පියවරයන් ගැනීමෙන් පසු නඩු කටයුතු අවසන් කරනු ලබන අතර ඉන් අනතුරුව සකස් කරනු ලබන අද්මිනිස්ත්‍රාසි පැවරුම්කරය මගින් මියගිය අයගේ බූදලයට අයත් ව ඇති නිශ්චල දේපල උරුමකරුවන්ට හිමි වීම සිදුවේ.
අන්තිම කැමති පත්‍රයක් තිබුණද නොතිබුණද නියමිත කාලසීමාව තුළ අධිකරණයට තෙස්තමේන්තු නඩුකරයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවකදී ප්‍රමාදය සඳහා සාධාරණ හේතු දැක්වීමක් සිදුකර නඩු කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබා ගැනීම සිදු කළ යුතු වේ.
කෙසේ වුවද යම් පුද්ගලයකුගේ මරණය සිදු වීමෙන් පසු ඔහුට අයත් බූදලය සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා එකී දේපළෙහි හිමිකරුවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය හැක.
විශේෂයෙන්ම නිවාස, ඉඩම් ආදී නිශ්චල දේපල විෂයෙහි අයිතිවාසිකම් තෙස්තමේන්තු නඩුකරයක් පවරා අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු හිමිකර ගැනීමක් සිදු නොවූ අවස්ථාවල දී එකී දේපළට අදාළව අයිතිවාසිකම් ඇති උරුමකරුවන්ට නිරවුල්ව සහ නිවැරදිව අයිතිය හිමිව ඇති බව සැලකීමට අපහසුය. මේ නිසා එවැනි දේපල අයිතියක් ඇති අයකු විසින් එම දේපළ තෙවන පාර්ශවයකට විකුණා බැහැර කිරීමකදී හෝ උකසක් මගින් ණය පහසුකමක් ලබාගැනීමට කටයුතු කිරීමේදී එකී හිමිකම ප්‍රශ්න සහගත විය හැක.
එසේ හෙයින් දේපළක හිමිකරු මිය ගිය අවස්ථාවක දී ඔහුගේ උරුමකරුවන් හෝ කිසියම් අයිතිවාසිකමක් ඇති අයෙකු විසින් නිසි උනන්දුවෙන් කටයුතු කර සියලු දේපළ සහ වත්කම් ආදිය පිළිබඳව සොයා බලා අවශ්‍ය නෛතික පියවරයන් ගැනීමට යොමුවීම සිදු කළ යුතු වේ.
තවද දේපල බැහැර කිරීම සහ හිමිකර දීම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමකින් තොරව මිය ගිය අවස්ථාවකදී එම දේපළ අයිතිවාසිකම් ඇති පාර්ශවයන් අතර අනවශ්‍ය ආරවුල් ඇති වීමටත්, ඔවුන්ගේ වටිනා කාලය සහ මුදල් අපතේ යෑමටත් ඔබගේ නොසලකා හැරීම හේතුවක් විය හැක. මේ නිසා ඔබ ජීවතුන් අතර සිටියදී පරිපාලනය කරනු ලබන සේම ම, මරණයෙන් පසු දේපළ කුමක් සිදුවිය යුතුද යන්න ඔබගේ කැමැත්ත අනුව පූර්වයෙන් ම තීරණය කිරීම වඩාත් යෝග්‍ය වේ.