ජල නිමැවුම් – වතුරමල්
භූ දර්ශන අංග යනු අප අවට භු දර්ශනයට අයත් කොටස් වේ. ඒ අතරින් ජලය උපයෝගී කරගනිමින් කල නිමැවුමක් වන වතුරමල් යනු තවත් එක් විශේෂ භු දර්ශන අංගයකි. සාගරයේ දිය රැළි වෙරළෙහි වැදීම නිසා ඇතිවන බලය හේතුවෙන් ජල බිංදු ඉහළට විසි වන ආකාරයටම වතුරමල්වල සිදුවන්නේද ජලයට යම්කිසි පීඩනයක් ලබා දී එය මුදාහරින විට, ස්වාභාවිකව හෝ මිනිසා විසින් හසුරුවන පද්ධතියක් තුල ජල බිදු විසුරුවාලමින් අලංකාර වතුරමල් සැදීමයි.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරලබඩ කුඩාවැල්ලෙහි මීටර 18ක පමණ උසකට විහිදෙන ජල ස්ථම්භයක් සේ, ස්වභාවික ‘වතුර මලක්’ කියා සැලකිය හැකි ස්ථානයක් ඇත. ඉංග්‍රීසියෙන් ‘Blowhole’ නමින් අතිවෙන ශබ්ද හේතුවෙන් ‘හුම්මානය’ ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. වෙරල අද්දර ගුහාවට වේගයෙන් ගහන මුහුදු රැල්ල, ගුහාව තුල කැලබී පීඩනයක් ඇතිවී ගුහාවේ ඉහළින් ඇති කුඩා සිදුරෙන් තෙරපී වතුර මලක් සේ ඉහළට විහිදේ. එම මුහුදේම ඉතා ඈතින් දැවැන්ත තල්මසුන් වාතයේ හුස්ම ගැනීමට මුහුදු පෘෂ්ඨය දෙබෑ කර ඔවුන්ගේම වතුරමල් විහිදයි. මෙවැනි ප්රේක්ෂනීය ස්වභාවික දර්ශන හේතුකොටගෙන මිනිසා වතුර මල් සෑදීමට පොළඹවන්නට ඇත්ද?
ආරම්භය සහ ඉතිහාසය
වතුර මල්වල මුලාරම්භය ඉතාලියෙදි සිදුවුවක් බව දක්නට ලැබුනද, ‘Ivor Solomons’, ‘Guardian’ නමි පුවත්පතට අදහස් දක්වමින්, මෙසපොතේමියානු යුගයේද (3000BC) දිය උල්පත් සඳහා උදාහරණ දැකගත හැකි බව පෙන්වා දුන්නේය. ඉතාලියේ කඳුකර බිම් පෙදෙස් සහ ජනාවාස රටාවන් දෙස බලන කල පෙනී යන්නේ ගුරුත්වාකර්ෂණයට අනුකූලව ජලය ගලායාම සහ බල අවහිරතා, ඉතාලියේ වතුරමල් නිර්මාණය සඳහා කදිම පසුබිමක් සපයා ඇති බවයි. 16 වන ශතවර්ෂයේදී පසුකාලීනව ‘Vila Lante’ හි, ජලයෙන් විනෝදයට සකසන උපකරන ‘VillaD’Este’ හි මනරම් හිරිකඩ සේ විසිරුනු ජල අවාන්(fan) සමඟ එක්ව කදිම නිදසුන් කියාපෑවේය. නගරවලට ජලය ගෙන එන රෝමයේ ඇළ මාර්ග ද එ්වායේ දීර්ඝ ගමන වතුරමලකින් අවසන් කළ බව කියවේ. ‘Viktor Schaumberger’ මෑත කාලයේදි කරන ලද අධ්‍යයනයන්ගේ ප්රතිඵලයන්, වතුරමල්වල ජලයට කෙලින්ම බලයක් යොදනවාට වඩා සර්පිලාකාරව ජලයට බලයන් යෙදීමට හේතු වී තිබේ.


ශ්‍රී ලංකාවේ වතුරමල්
මෙරට ඉතිහාසය තුළ බලනකල, ශ්‍රී ලංකාවේ වතුරමලක් සේ සකසා ඇති එකම උදාහරණය ලෙස 5 වන සියවසේ නිර්මාණය කල සීගිරිය උද්‍යානයේ සිදුරු ඇති තැටියක් සේ දැකිය හැක. ‘Marignolli’ විසින් උපුටා දක්වන ලද සහ ‘Sir Arthur C. Clarke’ ගේ පොතක මාතෘකාවක් ලෙස භාවිතා කළ ‘fountains of Paradise’ හි වතුරමල් ගැන සඳහන් කර ඇති අතර, ‘The Travels of John de Marignolli 1339 -1353’, හි ඔහු ‘Seyllan[i]‘ සමඟ මුණගැසුණු ආකාරයත්, අප දූපතේ තිබු වතුරමල් පිළිබඳවත් වාර්තාකරයි. එහි අන්තර්ගතය දිගු නමුත් ඔහු අපේ කඳුකරයේ දිය ඇලි වල අලංකාරය රසවිද ඇති බව පෙනේ. ‘Giovanni (John)’ එහි මෙසේ පවසා ඇත,
”එම කන්දෙහිම, පාරාදීසය දෙසට වන්නට, විශාල වතුරමලක් වන අතර, එහි ජලය ඉතාලි සැතපුම් දහයක දුරින් වුවද පැහැදිලිව දැකගත හැකිය. එය එතැනින් කැඩී ගියත්, ඔවුන් පවසන්නේ එහි ජලය පාරාදීසයේ දිය උල්පත් (Fountains of Paradise) වලින් ආ බවයි. ”
The friar Giovanni (John)

වැසි සමයේදී ඉහල ජලාශවල රඳවා ඇති ජලයේ පීඩනය අඩු කිරීමට කල දක්ෂ නිර්මාණයේ අහඹු සිදුවීමක් ලෙස සීගිරිය වතුරමල් ඇති වූ බව මගේ අදහසයි. පුරාණ නිර්මාණ ශිල්පීන් ඉන් පෙර සැලසුම් කරන ලද රන්මසු උයනෙහි ඉතා ඉහළීන් ඇති වැව් බැම්මෙහි අඩිය ලග ඇති වැසි කුටි සහ තිසා වැවෙහි ජල මට්ටම අතර ඇති වෙනස හේතුවෙන් ඇතිවන පීඩනය සමනය කිරීමට තිබූ “Surge Chamber” ජල පීඩන නැති කිරීමේ ආදී නිර්මාණයන් ගෙන් ලබාගත් ප්‍රතිඵල වල දැනුම එහිදි යෙදාගත් බව දක්නට හැක. අනුරාධපුරයේ රන්මසු උයනෙහි විශාල ගල් කැටයමක් දක්නට ඇත. ‘සක්වල චක්‍රය’ ලෙස ප්‍රකට නමුත් එය මගේ සොයාගැනීම් අනුව සිගිරිය උද්‍යාන සඳහා සිදු කල භූමි දර්ශන මුල් සැලැස්ම ලෙස දැකිය හැක.
ශ්‍රී ලංකාවේ උණුසුම් නමුත් වැඩි තෙතමනය ඇති දේශගුනය හේතුවෙන් පෙර කල භූමි අලංකරණයට වතුරමල් අහඹු ලෙස මිස සාමන්‍යයෙන් භාවිතා කල අංගයක් නොවන බව වෙනත් දේශීය සාධක නොමැති හෙයින් තහවුරු වේ. මෑත කාලයේදී, භූමි නිර්මාණ අංගයක් ලෙස විදේශීය සංස්කෘතීන්ගෙන් ආභාසය ලබා ඇති වතුරමල්, කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී අපට දැකගත හැකිය. කුඩා වතුරමල් සමූහයකින් සමන්විතව රේඛීයව පිහිටන සේ නිර්මාණය කර ඇති එම වතුරමල්, අපට පාකිස්තානයේ ‘Shalimar’ සහ ඉන්දියාවේ ‘Moghul’ උද්‍යාන සිහිපත් කරවයි.
කොළඹ BMICH හි අක්ෂීය පිවිසුමට ප්‍රධාන අංගයක් ලෙස ආකර්ෂණීය වතුරමලක් එක් කර ඇත. නිරිත දිගින් හමන සුළං මගින් විසිරෙන ජල බිඳිති වාහන ඇතුළු වන විට ඒවා මත පතිත වේ. යම් අවස්ථාවකදී මෙය ඇතුළු වීමේදීම පිරිසිදු කරන හොද අංගයක් ලෙසද සැලකිය හැකිය. වටපිටාවේ විශාලත්වය, සුළං තත්වය සහ ක්‍රියාකාරකම් හොඳින් වටහා ගෙන නිර්මාණ කිරීමේ අවශ්‍යතාවය පෙන්වීමට මෙය මනා නිදසුනකි
කොළඹ බේර වැවෙහි කුඩා පරිමාණය අමතක කරමින්, එහි වතුරමල් සෑදීමේ යෝජනාවක් කලෙක විය. පසුකාලීනව එම ව්‍යාපෘතිය වාසනාවකට මෙන් අතහැර දමන ලදි. එය ස්විට්සර්ලන්තයේ ‘Geneva’ විල හා මීටර් 140 (අඩි 460)ක් පමණ උසකට විහිදෙන එම විලෙහි නිර්මාණය කර ඇති විශාල වතුරමල් බේර වැවේ පරිමාණය මෙන් 900 ගුණයක් පමණ වේ. ජලය අවම කාන්තාරමය පෙදෙස් වන ඩුබායි හි වතුරමල් පෙල හා ලාස් වේගාස් හි ‘Bellagio’ හෝටලයද එලෙස පරිසරයට සුදුසු බැවින් අගය කල යුතුය. අන්තර්ජාලය පරීක්ෂා කිරිමෙන් විවිධ හැඩයන්, විශාලත්වයන් සහ ඵෙතිහාසික වැදගත්කම් වලින් යුත්, සරල හෝ අලංකාරව මූර්තිමත් කල බොහෝ ප්‍රසිද්ධ වතුරමල් පෙලක් අපට දැකගත හැකිය. පුරාණ, මධ්‍යකාලීන හෝ නවීන කාලයන්ට අයත් විශාල එළිමහන් වතුරමල් සෑම අවස්ථාවකම දැඩි අවධානයක් ලබා ගැනීමට සහ නෙත ඇද ගැනිමට සමත් අංගයකි. නිවාඩු නිකේතනයක් හෝ විශාල මන්දිරයක් අලංකාර කිරීමට යොදාගන්නා අංගයක් වනවා මෙන්ම වතුරමල් වර්තමානයේ නාගරික වටපිටාවන් වලද ප්‍රචලිත අංගයකි.


වතුරමල් ඇතිවීමට හේතු
මුල්කාලීන වතුරමල් සදහා ජලාශවල ජලයේ විභව ශක්තිය භාවිතා කළ අතර, ඒ සදහා අනිවාර්යයෙන්ම තද බෑවුමකින් යුත් කඳුකර ප්‍රදේශයක් අවශ්‍ය විය. කෙසේ වෙතත්, විදුලිය සහ යාන්ත්‍රික පොම්ප වැනි දේවල ආගමනයත් සමඟ ජලයට විශාල පීඩනයක් ලබාදී ඉහළට විදීමට හැකි වූ අතර නැවත නැවතත් එම ජලයම භාවිතා කිරීම මගින් ජලය සම්පතක් ලෙස සංරක්ෂණය කිරීමෙදි ද එය වැදගත් විය. නව තාක්ෂණයත් සමඟ පැතලි බිමක වුවද වතුරමල් ඇතිකල හැකි විය. සොබාදහමට වඩා උසස් බව සහ ප්‍රමුඛත්වය පෙන්වීමට ඇති ආශාවීම් සඳහා හේතු වුවද, අධි පීඩන පොම්ප යොදාගනිමින් කල මෙම සුන්දර නිර්මාණ, වතුරමල් ඉතිහාසයේ වටිනා සැමරුම් යුගයක් ඇති කිරීමට සමත් විය.
පහත විස්තර කර ඇති නිර්මාණ සහ උසස් තාක්ෂණයන් අදටත් භාවිතා වන අතර, මේවා ක්‍රමයෙන් පරිසර හිතකාමී නිර්මාණ බවට පත්වනවා මෙන්ම ස්වභාවයේ නිරීක්ශනය කල හැකි වේගයෙන් ගලා බසින දිය පහරවල්, සියුම් නදීවන් සිත පිනවන ඇළ දොළ සහ වන්නමක රසය සේ ගලන ගංගාවල නිහඬ චලනය පිළිබඳව අපට අවබෝධය ලබා ගැනීමටද මඟ පාදයි. මෙම නිර්මාණ වලදී ජලයේ හැසිරීම සහ එයට බාධා ඇති වූ විට සිදුවන වෙනස්වීම්ද නිරීක්ෂණය කරන ලදී. පෙරදිග ජපන් උද්‍යාන සොබාදහම වැලඳ ගනිමින් විවිධ උපක්‍රම යෙදා ජලයේ ගලායාම අලංකාර කරනු ලැබු අතර, අනෙක් සංස්කෘතීන් ජලයේ ස්වාභාවික ගැලීම් පමණක් යොදාගන්නා ලදි.
යාන්ත්‍රික වතුරමල් නිර්මාණය කිරීමට සමහර මූලික අවශ්‍යතාවයන් තිබිය යුතුය. ජල ප්‍රභවයක් සහ ජලය පරිවහනය කිරීමේ හැකියාව ඇති පොකුණක් හෝ ජල තටාකයක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වේ. ජලය පිටාර ගැලීම පාලනය කළ යුතු අතර වතුරමල ක්‍රියාත්මක කරන කොටස් වන පොම්පය, අවශ්‍ය ජල පීඩනය බෙදාහැරීමේ හිස (the delivery head), ජලවිහිදුම්තුඩ (nozzles), එහි දාරය හෝ නෙරිගැට්ට(flange) යන උපාංග යොදා ගන්නා ලදී. එසේම ඉතා විශාල උත්කෘෂ්ට වතුරමල් දර්ශනයන්ට ජලතුඩු සමූහ හෝ අරාවන් වල රටාව වැදගත් වේ. යාන්ත්‍රික පොම්ප භාවිතා කිරීම සහ විවිධ පීඩනයන් භාවිතා කිරීම මගින් තනි හෝ විහිදුම් තුඩු කිහිපයකින් ජලය විහිදුවන වතුරමල් නිර්මාණය කිරීමට අද වන විට සමත්ව ඇත. පසුකාලීනව ජලය මුදාහරින තුඩු අචලව සවිකර හෝ භ්‍රමණය වෙමින් හෝ විවිධ චලන රටා දැක්වීමට හැකි අයුරින්ද නිර්මාණය කිරීමට අත්හදා බලා ඇත. මෙලෙස දක්ෂ ආලෝකකරණ ක්‍රියාවලින් ද එක් කරමින් ‘නැටුම්කරුවෙකු සේ සරැලිව චලනය වෙන ජල ධාරා (Dancing water)’ යන සංකල්පය නිර්මාණය කරමින්, අලංකාර වක්‍ර චලනයන් සහිත වතුරමල් ඇති කිරීමට සමත් විය.
ඉන්පසු විවිධාකාර ධාරා හෝ නෙරිගැටි (Flange) ඇති විහිදුම් තුඩු මගින් ජලය ඉසිනවා වෙනුවට පිටතට පවතින පතක් සේ ජලය විසිරීම අත්හදා බලන ලදි. ජල කරාමයක් යටින් හැන්දක් තැබීමෙන් ඔබටද මෙම ආකාරය අත්හදා බැලිය හැකිය. ඩැන්ඩෙලයන් (dandelion) වතුරමල්වල, පාලනය කරන ලද පීඩනයක් ලබාදෙමින් මේ ආකාරයේ වතුර මල් නිමවා ඇත. කුඩා සහ නිශ්චල සැකසුම් සඳහා කුඩා ගෘහස්ථ වතුරමල් සෑදීමට අවශ්‍ය වූ විට අඩු පීඩනයක් යොදාගනිමින් මේ ආකාරයේ නෙරිගැටි තුඩු සමග වතුර මල් නිර්මාණය කරයි.

විවිධත්වය

වතුරමල් නිර්මාණ ඉතිහාසය සලකා බලන කල, ජලයට පීඩනයක් ලබා දිය හැකි ජල විහිදුම් නිර්මාණය ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැක. සරල විහිදුම් තුඩු වලට අධි පීඩනයක් යෙදා ජල විහිදුම් නිර්මාණය කර ඇත. ජල විහිදුම් තුඩු රාශියක් සහ එහි සැකැස්ම, තනි හෝ ද්විත්ව පසුබිම් රේඛාවක් ලෙස හෝ රවුමක හෝ ඔටුනු ආකාරයට සකස් කල හැක. මෙම ජල විහිදුම් තුඩු, මධ්‍යම පීඩනයකින් කැරකෙන විට, සිත් ඇදගන්නා සුළු දර්ශනයක් ඇති කරමින් කේතුකාකාරව හෝ සර්පිලාකාරව ජලය විහිදයි. රේඛාමය ජල විහිදුම් තුඩු වලට දෝලනය විය හැකි අතර, කැරකිය හැකි තුඩු ඔටුනු ආකාරයේ ස්වාභාවයක් ඇතිකරයි.
පටු කැපුම් විවරයක් සහිත ජල විහිදුම් තුඩු, විහිදුම් තුඩට ආසන්නව පතක් මෙන් ජලය විහිදුවන අතර එහි ගමන් පථය අවසානයේ ජල බිඳිති වලට වෙන් වී වැස්සක් මෙන් ඇද හැලෙයි. මලක ආකාරයේ ජල පතයක් නිර්මාණය කර ගනු ලබන්නේ, වතුරමල් සම්පූර්ණ ජලකඳ, තුඩට මද්යගතව තරකරමින්, විහිදුම්තුඩේ මුදුවේ දාරය හරහා ජලය ඒකාකාරව පිටතට විහිදුවාලීමෙනි.
තනි වතුරමලක් හෝ වතුරමල් පෙලක් සැලසුම් කිරීම සීමිත වන්නේ පරිකල්පනයෙන් පමණි. කෙසේ වෙතත්, සෑම විටම සැලසුම් කිරීම හා අවසාන නිර්මාණය සෞන්දර්යාත්මක විය යුතුය. ක්‍රියාකාරිත්වය අනුව, වතුරමල් දැඩි අවධානයක් ලබාගන්නා අංගයක් වන අතර එය පසුබිම් හෝ ආවරණ අංගයක් ලෙසද භාවිතා කළ හැකිය. ඉතා සීමිත විශේෂ ස්ථාන සහ එයට ඔබින ගමන් මාර්ග වලට මං සලකුණු ලබා දීමට ද වතුරමල් මෑත කාලයේදි භාවිතා කරයි. බොහෝ විට මිනිසා විසින් නිර්මාණය කරන ලද වතුරමල් අඛණ්ඩව ක්‍රියාත්මක නොවන නමුත්, මිනිසුන්ට එය නැරඹීමට හැකි ප්‍රදර්ශන කාලයක් හෝ එහි මෙහෙයුම් කාලයක් ඇත. අත්යාවශයයෙන්ම, වතුරමල් වල නල පද්ධතිය පිළිවෙලට හා ජලයේ මතුපිටට මදක් පහළින් පැවතිය යුතු අතර, එය ක්‍රියාවිරහිත වීමට දීර්ඝ කාලයක් ගත නොවීමද, වතුරමල් ක්‍රියාත්මක නොවන විට මෙහෙයුම් කොටස් නොපෙනී තිබිමද වැදගත් වේ.
සාමාන්‍ය වතුරමල් බොහෝ විට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කරන අතර විශේෂිත සෞන්දර්යාත්මක ආලෝකකරණ පද්ධති සමඟ මේවා සම්බන්ධ කර ඇත. බොහෝ විට, සංකීර්ණ ආලෝක රටා සහ වර්ණ දර්ශනය කිරීමට පරිගණක පද්ධති භාවිතා වේ.
ගලා නොයන දිය පහරවල ජලය වාතනය කිරීමටද වතුරමල් භාවිතා කරයි. නමුත් අවට ප්‍රදේශයේ ගන්ධයක් ඇති විය හැක. පැහැදිලි ජල ප්‍රවාහ වල මතුපිට ජල මට්ටම පෙන්වා දැක්වීමටද වතුරමල් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ඉහළ සිට බැලූ විට, කිමිදුම් තටාක වල මතුපිට මට්ටම දැක්වීමට කෘතිම වතුරමල් භාවිතා කරයි.
අමුද්‍රව්‍ය
PH අගය 7 ක් වූ ජලය උදාසීන වුවද, එම ජලයෙහි ගුණාත්මක භාවයද, දිය වී ඇති ඛනිජ ලවණ හේතුවෙන් යම්තාක් දුරට ආම්ලික හෝ භාෂ්මික විය හැකිය. මෙය සමහර ලෝහ ජල විහිදුම් තුඩ වලට අහිතකර විය හැක. ඒමනිසා සාමාන්‍යයෙන් පිත්තල තුඩු හෝ වඩා මිල අධික නිකල්-ලෝකඩ හෝ මල නොබැඳෙන වානේ තුඩු යොදාගනි. මේවාට වෙනත් අමුද්‍රව්‍ය වලට වඩා හොඳ කල්පැවැත්මක් ඇත. එමෙන්ම ජල විහිදුම් තුඩු තුලින් ජලය නිදහසේ ගලා යාමටත් ජලයත් සමග මුසුවී ඇති වෙනත් අපද්‍රව්‍ය තුඩු තුල සිර නොවන බව සහතික කර ගැනීම සඳහාත් පෙරහන් අවශ්‍ය වේ. විශේෂයෙන් බොර ජලය තුළ නිර්මාණය කල වතුරමල් සදහා එය අනිවාර්යය වේ. ගිල්විය හැකි පොම්ප නොගැඹුරු ජල පද්ධති වල භාවිතා වේ, එසේ නැතහොත් ජලය ගෙනඑන මාර්ග දිගු නොවන විට පොම්ප ක්‍රියාත්මක නොවිය හැක. මෙවැනි පද්ධති සැකසීමේ දි මූලික වියදම්, මෙහෙයුම් පිරිවැය සහ නඩත්තුව පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.
වතුරමල්හි අනාගතය

අද වන විට බොහෝ ආයතන, ප්‍රභූ ගෙවල්, පාරිසරික සහ හරිත දැක්මකට යොමු වී ඇති නිසා, ඔවුන් තම කාර්යාලවලට නිසංසල කෘතිම වතුරමල් එක්කර ඇති බව පෙනේ. නමුත් ජලබිත්ති (water walls), ජලතිර (water curtains) හෝ මීදුම් (Mists) ආදිය ආයතනික හෝ කාර්යාල අංගයක් ලෙස එක් කිරීම වඩාත් සුදුසු හා අලංකාර වේ. ‘Viktor Schaumberger’ ගේ අධ්‍යයනයක් වන නල හරහා සර්පිලාකාරව ජලය රැගෙන යාම, ශාරීරික චිකිත්සක ක්‍රමයක් ලෙස මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා යොදා ගනී. ඔහුගේ විශේෂිත ජල අධ්‍යයනයේ මූල ධර්ම අනුව එහි නව ජල ආකෘතියක් වන සුළි ආකාර ජලමල් පද්ධතිය (Vortex Fountain) දෙස බැලූ විට සිත වශී කරයි.
කෙසේවෙතත්, එය වතුරමලක්, කෘතිම ජල උල්පතක්, ජලවිහිදුමක් හෝ තරු ආකාරයට ජලය විසුරුවන පද්ධතියක් වුවද, ඒවා සැදීමට පයිප්ප, රෙගියුලේටර සහ ජලවිහිදුම් තුඩු යන උපකරණ අවශ්‍යවේ. මෙම වතුරමල් යනු, අත්‍යවශ්‍ය භූ දර්ශන අංගයක් වන ජලයෙහි ඉතා විශිෂ්ට සිත අවධි කරන අංගයකි. වතුරමල් හි ජලය විවිධාකාර ක්රමයන්ට විසිරන්නට පුලුවන් වෙන්නේ ජලයෙහි ඇති විශේෂ ලක්ෂන නිසයි. ජලයෙහි පෘෂ්ඨික ආතතියෙන් (Surface Tension) ගෝලකාර හා වෙනත් හැඩයෙන් අවට පරිසරයම පරාවර්තනය කරයි. එවිට සුදු හුරුවෙන් පෙනුනත් ජලයෙහි ලක්ෂණ ඒ සමඟම අන්තර්ගත වෙයි. මුලු මිහිකතයේ තිරසාරාවේ මීදුම් බුබුලු, සිනිදු තලා යනදිය බිහි කරන ජලය වැනි වෙනත් ද්‍රවයක් නොමැති වන අතර එය මිනිසාගේ මනස විශ්මිතයෙන් අවදි කර නිරවුල් කිරීමට ඉතා උපකාරි වේ.
කර්තෘ – වරලත් වාස්තු විද්‍යාවේදී / වරලත් භූ දර්ශන වාස්තු විද්‍යාවේදී ෂෙරීන් අමේන්ද්‍ර
පරිවර්තනය – සඳුනි පියුමිකා (වාස්තුවිද්‍යා පීඨය – මොරටුව විශ්වවිද්‍යාලය)
- The Travels of John de Marignolli 1339-1353 depts.washington.edu/silkroad/texts/marignolli.html
- Amendra, Shereen, ‘Visit to the City of Anuradhapura: The Ran-masu Uyana and Sakwala Chakraya’ appearing in Mendis, D.L.O., (2007) ‘Learning from Ancient Hydaulic Civilisations to combat Climate Change’, SL Pugwash Group
[/expand]